Thursday, December 30, 2010

ඔබගේ නිදහස සහ අනෙකාගේ නිදහස

මිනිසා ස්වභාවයෙන්ම නිදහස් ය. එය කවුරු කීවත් එසේමය. කිසිවෙකුට තවත් කිසිම අයෙකුට කිසිම ආකාරයකින් අනෙකාගේ නිදහසට බාදා කිරීමට අයිතියක් නැත. එහි දී අයෙක් ට තවත් අයෙක් ට තමාගේ හිතේ ඇති දෑ කීමට නිදහස ඇතත්, ඒ කියන දේ තුල අනෙකාගේ නිදහසට කුඩා පරිමාණයකින් හෝ බාදා නොවිය යුතුය‍.

මට මෙහි දී විශාල කරුණු පරිමාවක් කීමට නැත. ඒ මන්ද මම විශ්වාස කරන නිදහස මට දැනෙන නිදහසක් නිසාය. එය ඔබට දැනෙන දෙයින් අනිවාර්යෙන්ම වෙනස් ය. ඔබට නිදහස කියා දැනෙන දේ ඔබේ නිදහස යි. එය අනෙකාගේ නිදහස නොවේ. එය අනෙකාගේ නිදහස විය යුතුද නැත. එය එසේ වෙනවා නම් එතන නිදහසක් ද නැත. තමන්ට උවමනා විදිය ට සිටීම තමන් ගේ නිදහසයි. අනෙකාට උවමනා විදියට සිටීම ඔහුගේ නිදහසයි. ඔබට සිතිය හැකිය. ඒ සිතුවිලි අනුව හැසි‍රෙන ලෙස අනෙකාට පැවසිය හැකිය. නියෝග දිය හැකිය. එය ඔබගේ නිදහසයි. එසේම ඒ ආකාරයට හැසිරීමට තීරණය කිරීම සේම එය නොසලකා සිටීමට අනෙකා තීරණය කිරීම  අනෙකාගේ නිදහසයි. එය ඔබ ‍තේරුම් ගත යුතුය.

Monday, December 27, 2010

සමානාත්මතාවය ඇති කිරීමේ කොළඹ වීශ්ව විද්‍යාලයේ අපූරු මෙහෙයුම


කොළඹ විශ්ව විද්‍යාලය යනු ලංකාවේ City Campus එකය. එනම් ලංකා‍වේ විශ්ව විද්‍යාල හදුනාගැනීමේ දී එය මූලික ස්ථායක් ගනී. අද කියන්නේ එය ගැන නොවේ. එහි ඇති හරි අපූරු දෙයක් ගැන කියන්න තමා මේ උත්සාහ කරන්නේ.

මෙය ආරම්භවීමට ගන්නේ ගිය අවුරුද්දේ සිටය. එනම් 2009 වසරේ සිටය. විශ්ව විද්‍යාලයට අලුතින් ශිෂ්‍ය කණ්ඩායමක් පැමිණියේ ය. එම අවුරුද්ද වෙනතුරු නවක වදය නොතිබුනු කොළඹ විශ්වවිද්‍යාලය තුලට නැවත එය පැමිණියේ ය. මෙකී සමානත්මතාවය ඇති කිරීමේ කොළඹ වීශ්ව විද්‍යාලයේ අපූරු  මෙහෙයුම ආරම්භ වනුයේද මෙතැන් සිටය. 

කොළඹ විශ්වවිද්‍යාලය කොළඹ ‍තිබුනාට එයට වැඩියෙන් එන්නේ බාහිර පළාත් වල සිට පැමිණෙන පුද්ගලයන්ය. (ශිෂ්‍ය යන වචනය භාවිතා කලයුතු නැත). කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයන්යයි කියාගන්නා අයට අනුව එසේ පැමිණෙන්නේ පිටිසර ගම්වල අහිංසක අසරන දුප්පත් අම්මල තාත්තලගේ ළමයි ය. (මේවාගේ මිනුම් දණ්ඩ තීරණය කරන සාධක ඔවුන්ගෙන් දැනගැනීම හොදය). මෙම අහිංසක දෙමව්පියන්ගේ ළමයින්ට කොළඹ විදියට අදින්න පළදින්න මුදල් නැත. ‍ උන් ගෙවල්වලට ගොස් අසරණ දෙමව්පියන් ට, කොළඹ අය අදින ඇදුම් අදින විදියට අදින්න ආස බව කියයි. පිටින් ආපු උන්ට,  කොළඹ උන් කරන style දැකල දෑස කදුලින් තෙත් කරගනී. ඒ මොකද කොළඹ පොෂ් කොල්ලො කෙල්ලො අදින ඇදුම් ගන්න උන්ට සල්ලි නැත. උන්ට එව කරන්න බැහැ. උන් ගමට ගොස් ‍අසරණ  දුප්පත් දෙමව් පියන්ට තමන්ට ද එවැනි ඇදුම් ආයිත්තම් අවශ්‍ය බව කියයි. දෙමව්පියන්ට එවැනි ඇදුම් තමන්ට අරන් දෙන ලෙස කරදර කරයි. (ඇත්තට ම දුක් කතාවක් නේද?). එසේ නම් ශිෂ්‍ය සංගම් නායකයන්යයි කියාගන්නා අයට අනුව කල යුත්ත කුමක්ද?  මෙතන් සිට කියනුයේ එයට ඔවුන් දීපු අපූරු විසදුමය.

අපූරු  මෙහෙයුම

මෙම ගැටලුව වූ කලී ලෝක විනාශය තරම් ලොකු ගැටලුවකි. මෙයට කලයුත්ත කුමක්ද? ඔවුන් දහඅතේ කල්පනා කරමින් ඒ ගැන සිතූහ. එක් වරම ඔවුනට විසදුම ලැබුනේ නැත. සමහර විට ඔවුන් එකිනෙකාගෙන් සමානත්මතාවය ඇති කිරීම සදහා ව්‍යාපෘති ‍යෝජනා ද කැදවන්න ට ඇති බව සිතේ. ඒ මන්ද දැනට විශ්ව විද්‍යාලයේ බොහෝ දෙනා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දරන උත්සාහය දිහා බැලූ විට, එම මෙහෙයුම එසේ බොහෝ මහන්සියෙන් තෝරාගෙන එය සාර්ථක කරගැනිමට දිව්රුම් දී ඇති බව සිතේ.වැඩි කතා නැතුව ඒ මෙහෙයුම ගැන කතා කරමු.

ඔවුන් විසින් මෙහිදී සොයාගත් වඩාත් වැදගත් දෙය නම් මෙවැනි කණ්ඩායම් 2 ක් (ගමෙන් ආපු උන්, කොළඹ පොෂ් උන්) සිටීම තුල විශ්ව විද්‍යාලය තුල සමානාත්මතාවය නැතිවීම සිදු වී ඇත. ඒ නිසා මෙකී කණ්ඩායම් 2 අතර ඇති වෙනස නැතිකර සමානාත්මතාවය ඇති කිරීම තුල දුප්පත් අසරණ දෙමව්පියන්ගේ අසරණ දරුවන්ට සතුට දැනේ. ඒ තුල සියලු ගැටලු නැතිවී යයි. හි දී ඔවුන්  එය තේරුම් ගත් අවස්ථාවේ නේවාසිකාගාරයේ කාමරය තුල ට වී වහලේ වැදෙන තරම් උඩපැන පැන සතුටු වන්නට ද ඇත. ඔවුන් ඒ ‍මොහොතේ එ ම සතුට සමරා සින්දු කියමින් විනෝද වන්නට ද ඇත. මෙහිදී මේ සමගම සමානත්මතාවය විශ්ව විද්‍යාලය තුල නැතිවී ඇත්තේ ඇත්තටම ඇයිදැයි සිතන්නට ඇත. ඒ මොහොතේ  මෙම යෝජනා සම්මත කරගත් ස්ථානයේ සිටි අයගෙන් එයට හේතුව ලෙස ඔවුන් සිතන දේ විමසන්නට ද ඇත. මෙහි දී කවුරුන් හෝ අයෙක් ගෙන් එයට ‍හේතුව මතුව ඇත. ඒ මොකක් ද? ඔබට එය ගැටලුවක් ‍ද?  මෙන්න ඒ ගැටලුවට විසදුම. ඔවුන් ‍එය සොයා ගත් දෙය නම් සමානාත්මතාවය නැතිවී ඇත්තේ ගැහැණු ළමයි තුන් කාලේ කලිසම් ( Three Quarter ) ඇදීම නිසා ය. එය  ඇදීම නැවැත්තුව විට සමානාත්මතාවය විශ්ව විද්‍යාලය තුල ඇතිවන බව ද එහි දී ඔවුන් සොයා ගෙන ඇත. සමානත්මතාවය ඇති කිරීමේ කොළඹ වීශ්ව විද්‍යාලයේ අපූරු  මෙහෙයුම ආරම්භ වනුයේ මෙතැන් සිටය.


ඔවුන් එතැන් සිට විශ්ව විද්‍යාලය තුල සමානත්මතාවය ඇති කිරීමේ මෙහෙයුම ආරම්භකරයි. ඒ සදහා ඔවුන් විශ්ව විද්‍යාලයට එන පලමු වසර ගැහැණු ළමයින්ට තුන් කාලේ කලිසම් ඇදීම තහනම් කරයි. එයින් ඔවුන් විශ්ව විද්‍යාලයේ සමානාත්මතාව ඇති කිරීමේ උත්තරීතර මෙහෙයුමේ නියුක්තව සි‍ටී. ඇත්තෙන්ම එය අපූරු මෙහෙයුමක් නේද?

 මේ ගැන ටිකක් හිතන්න
  • තුන් කාල කලිසම් (Three Quarter ) ඇදීම පමණක් සමානාත්මතාවය බිදහෙලීමට ගැටලුවක් වේ,නමුත් ඊට වඩා කොට කලිසම් ඇදීමෙන් එයට හානියක් නොවේද?
  • විශ්ව විද්‍යාලය තුල දී පළමු වසර අයට පමණක් මෙය තහනම් කිරීම තුල, අනිත් වසරවල් වල අය එය ඇදීම හෝ විශ්ව විද්‍යාලය භූමියෙන් පිටත අය තුන් කාල කලිසම ඇදීම දකින අර අසරණයි කියන ළමයින්ට දුකක් ඇති නොවේ ද?
මට සිතෙන විදිය අනුව මෙකී විශ්ව විද්‍යාලය තුල ඇති මෙම "මෝඩ නීතිය" යනු එම නීතිය හදපු අයගේත් එම නීතිය පිළිපදින අයගේත් මෝඩකම,ගොන්කම සහ ඔලුව හොද නැති කම හොදාකාරවම පෙන්වා දෙන දෙයක් බවය.

එසේම මෙහිදී මො‍ළයක් නැති එම නීතිය හදාගත් පුදගලයන් අනිත් අයගේ නිදහසට බාදා කරන බවත්, එසේ කිරීමට ඔවුනට කිසිදු අයිතියක් නැති බව ඔවුනට නොසිතීම ද පුදමයක් නොවේ. එ මන්ද සියලු දේ තම තමන් වටහාගන්නේ ඔවුනට දැනෙන දේ අනුවය. ඒත් එසේ කිරීමට ඔවුනට අයිතියක් නැති බව සිතෙහි තබාගතහොත් මැනවි. ඒ මන්ද අනුනට ඕන විදියට කවුරුත් වැඩ කල යුතු නැති නිසාය.

(මේ සදහා තොරතුරු සැපයූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ම‍ගේ මිතුරෙකි. ඔහු මෙහි සදහන් මෝඩ පාර්ශවයේ නොවන බව මතක් කර සිටිමි )

Sunday, December 26, 2010

බොන තරමක් කලින් බීලා අවරුද්දට,නත්තලට ජොලියෙ ඉන්න

බොන තරමක් කලින් බීලා අවරුද්දට,නත්තලට ජොලියෙ ඉන්න. මේ දැන්වීම ඔබ කොයි කාටත් අවුරුද්දට හෝ නත්තලට හෝ දකින්න ලැ‍‍බෙන දැන්වීමක්. ඇත්තටම මෙම දැන්වීමේ මතුපිට අර්ථයට වඩා යටින් ඇති තේරුමක් තියෙනව කියල කී දෙනෙක් ට තේරෙනව ද නම් මම දන්නෙ නැහැ.
ඇත්තටම මේ දැන්වීමෙන් කියන්නේ අවුරුද්දට කලින් බීල ඉවර කරන්න කියන එක ද? එහෙමත් නැත්නම් අවුරුද්දට, නත්තලට ‍මත්පැන් බාව්තා නොකර සතුටින් ඉන්න කියන එකද? එහෙමත් හිතන්න පුලුවන් තමා, ඒත් මට හිතෙනව ටිකක් වෙනස් විදියක තේරුමක්.ටිකක් හිතන්න බලන්න.
මුලින්ම මේ දැන්වීමේ ස්වභාවය බලනවිට මේ දැන්වීම නත්තල් කාලෙට හෝ අවුරුදු කාලෙට මගතොටේ දක්නට පුලුවන්. ඒ වගේම මේ දැන්වීම පෝස්ටර් හෝ බැනර් ආකාරයෙන් දක්නට ලැබේ. එසේම මෙහි වැදගත්ම දෙය නම්, මෙම දැන්වීම පලකරන්නේ කවුද යන්න සදහන් කර නොතිබීමයි. ඒ වගේම මුලින්ම තාප්ප වල අලවන පෝස්ටර් මට්ටමේ තිබූ මෙම දැන්වීම, මේ වන විට Digital Print මාධ්‍යයෙන් ඇති දැන්වීම දක්වා වර්ධනය ද වී ඇත. මේ ලක්ෂණ සලකා බලනවිට මතුවන දේ කුමක්ද?
(එසේ මතුවන දේ ලෙස මට සිතෙන දේ දක්වා ඇත.)
නත්තලට කලින් හෝ අවුරුද්දට කලින් බොන්න කියන්නේ ඇයි? අවුරුද්දට කලින් බොන්න නම් අවුරුද්දට කලින් මත්පැන් ගන්න අවශ්‍යතාවයක් මතුවේ. ඒ කියන්නේ මෙය මත්පැන් බොන එක නතර කරන්න කියන දැන්වීමක් වන බ‍වට කෙසේවත් තර්කයක් කල නොහැකි බවයි. ඒ වගේම මෙය මත්පැන් අලෙවි කරන පුද්ගලයන් විසින් තමන්ගේ මත් පැන් ගන්න, කරන නිවේදනයක් බවටත් පැහැදිලි තර්කයක් ගොඩනැගිය හැකිය. මේ අනුව මෙයින් පැහැදිලිවන දෙය නම් අවුරුද්දට හො නත්තලට කලින් මත්පැන් මිලදී ගන්න කියන එක නේද? ඒ මොකද  උත්සව වලට මත්පැන් හල් වසන නිසා ය. (එදාටත් මත්පැන් ගන්න පුලුවන් කම වෙනමම කතා කරන්න ඕන දෙයක්). එසේම අද වන විට පෝස්ටරයක් හෝ වෙනත් ආකාරයක දැන්වීමක් පල කිරීමට යන වියදම සලකා බලන විට මෙය සාමාන්‍ය වඩා පුලුල් ව්‍යාප්තියක්‍ නොමැති ආයතනයකට ද සිදු කල නොහැකියත. මෙය මුලු ලංකාව  පුරාම ‍වාගේ (මගේ නිරීක්ෂණය අනුව) එක් වරම වාගේ උත්සව කාලෙට දක්නට ලැබෙන දැන්වීමකි. එනිසා මම සිතන ආකාරයට මෙය ලංකාවේ හෝ වේවා කිසියම් මත්පැන් අලෙවි කරන ආයතනයන් මගින්ම පල කරන දැන්වීම් ය.  මෙය වැරදි නම් ‍එය ඔනෑම අයෙක්ට පැහැදිලි කරන්න පුලුවන්. එය පිළිගන්න මම සූදානම්.
මත්පැන් අලෙවි කිරීම සදහා ලංකාවේ මාධ්‍ය වලට පනවා ඇති තහනම් වැඩක් නැතිබවත්, එයින් මිදී දැන්වීම් කරනය තවමත් කරන බව මට සිතේ.(මත් පැන් තහනම් කරන්න ඕන කියන තැන මම නැති බව මතක තබාගන්න. ඒත් එසේ සිතන්න අයිතියක් ඔබට ඇත.)

Sunday, December 19, 2010

සිහින දකින්නාගේ බ්ලොග් අඩවිය

මුලින්ම කියන්න අවශ්‍ය දේ නම් "සිහිනදකින්නා" කියන නම මගේ ඇත්ත නම නෙමෙයි. ඒත් ඒක එතරම් තැකිය යුත්තක් නොවන බව මගේ හැගීමයි. මොක ද ඇත්තට ම මගේ නම කියල මම දන්න එකත් නමක් විතරයි.

සිහින දකින්නාගේ බ්ලොග් අචවිය පටන් ගන්න ගොඩක් කල් බලාගෙන හිටියා. නොයෙක් වැඩ රාජකාරී නැතත් වැඩ තිබුන නිසා මේක ටික ‍ටික කල් ගියා. ඒත් අද පටන්ගන්නව.

මම කාලෙක ඉදල හීන කීපයක ජීවත් වෙන කෙනෙක්. ඒ හීන මම ළග තියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ඒ නිසා මම අද ඉදන් ඒ හීන ලෝකයත් එක්ක බෙදා ගන්න සූදානම්. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තියෙනවා. මේ ලෝකෙ සිද්දවෙන සමහර දේවල් සම්බන්ධයෙන් මගේ විවේචනත් තියෙනවා. ඒව මගෙන් පිට අයට දිරවයි ද නම් දන්නෙ නෑ. ඒත් කියල බලන්න ඕන කියල හිතෙනව මට. මේක කියවන ඔබට මම ලියන සමහර ඒව කල් පැනල කියල හිතෙන්න පුලුවන්. ඒත් කියවල බලන්න කියල මම යෝජනා කරනවා. මේක ලියන බාසාව ටිකක් අමුත්තක් තියෙන එකක් වෙයි. මොක ද මම ටිකක් ව්‍යාකරණ දන්නව අඩුයි. ඒත් මේ කියන ඒව තේරෙනව නම් ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. එහෙනම් සිහින දකින්නාගේ බ්ලොග් එකට ඔබ සැම සාදර‍යෙන් පිළිගන්නවා!